Sunday, July 20, 2014

පෘතුගීසින්ට එරෙහිව වීර සිංහලයන් කළ ඉතිහාසගත සටන්...


පෘතුගීසි ජාතිකයින්ගේ ප්‍රථම ලංකා ගමන වාර්ථාවන්නේ 1505දී පමණය. 'ලොරොන්සෝද අල්මේදා' නමැති පෘතුගීසි ජාතිකයා 1505 දී ලංකාවේ ගාල්ල වෙරළට ගොඩබසින ලදී. එසේ ප්‍රථමවරට ලංකාවට පැමිණි පෘතුගීසින් ක්‍රමයෙන් රට තුල පැලපදියම් වීමටත් පාලන තන්ත්‍රයට අත පෙවීමටත් පටන් ගත්තේය. ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයකල වසර 153ක කාලයේදී බොහෝ වතාවක් උඩරට ආක්‍රමණය කිරීමට උත්සහ කලහ. ඒ වකවානුව තුල සිදුවූ ප්‍රධාන සටන් 5ක් අපට හඳුනාගත හැක.

1) මුල්ලේරියා සටන (1562)

හංවැල්ල නගරයේ පිහිටි
ටිකිරි කුමාරයාගේ ප්‍රතිමාවකි
.
මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන් තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව 1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී.
පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී. 
පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්ක‍ටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි.

1562 අගෝස්තු මාසයයි. මුල්ලේරියාව ප්‍රදේශයේදී දෙපිරිස අතර දරුණු සටනක් ඇතිවිය. මෙහිදී පෘතුගීසි සේනාවේ 1600ක් පමණ දෙනා මියගියෝය. ඔවුන්ගේ රුධිරයෙන් මුල්ලේරියාව වැව රත්පැහැ වූ බව සඳහන් වේ. එහිදී පෘතුගීසීන්ට අන්ත පරාජයක් ගෙනදුන් ටිකිරි කුමරු පසුව 'I වන රාජසිංහ' නමින් සීතාවක රජකමට පත්විය. පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් තමන් සතු රාජ්‍යය පෘතුගීසින්ට තෑගි කර 1597දී මියගියේය.


2) දන්තුරේ සටන (1594)

 I වන රාජසිංහ රජුට සියල්ලන්ගේ ආශිර්වාදය මැද වැඩිකලක් පාලනය ගෙනයාමට නොහැකි විය. රජු සමඟ විරසක වූ උඩරට ප්‍රධානීන් පෘතුගීසීන්ට සහය දෙන්නට පටන් ගත්තේය. යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, කුසුමාසන ආදීන් මේ අතර විය. පෘතුගීසීන් සිදුකලේ මේ අතරින් ජේෂ්ඨයා වූ යමසිංහ බණ්ඩාරයන් "දොන් පිලිප්" නමින් උඩරට රජකරවීමයි. මේ ගැන කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්ට ඇතිවූයේ කෝපයකි. ඔහු I වන රාජසිංහ රජු සමඟ සටන් කොට අවසානයේ "I වන විමලධර්මසූරිය" නමින් උඩරට රජවිය.
1594 ඔක්තෝබර් මාසයයි. කුසුමාසන දේවිය රජකරවීමේ අරමුන ඇතිව පෘතුගීසීන් විසින් උඩරට ආක්‍රමණය කරන්නේ මේ වකවානුවේදීය. සාර්ථකව උඩරට අත්පත් කරගත්තත්, ඔවුන්ට නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණදෙන්නට විය. ඒ සිංහල කුලී හමුදාවේ සහය උඩරට රජුට ලැබීමයි. එයින් ධෛර්ය්‍යමත් වූ  විමලධර්මසූරිය රජුගේ සේනාව පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. දෙපිරිස අතර දරුණුම සටන ඇවිලුනේ දන්තුරේ ප්‍රදේශයේදීය. මෙහිදී පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ බව කියැවේ.  පෘතුගීසි මූලාශ අනුව ඔවුන් ලංකාවේදී ලද දරුණුම පරාජය මෙය බව සඳහන් වේ.  පසුකාලීනව කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් රාජ්‍යත්වයට පෙලපත් උරුමයත් ලබාගැනීමට විමලධර්මසූරිය රජතුමා සමත් විය.

3) බලන සටන (1603)

17වන සියවසේ මුල් භාගයයි. පෘතුගීසි හමුදාවේ කෲර කපිතාන්වරයෙකු වූ ජෙනරාල් 'දොන් ජෙරනිමෝද අසවේදු' 25000ක පමණ භටයන් පිරිසක් සමඟ උඩරට ඇල්ලීමට පැමිණෙන්නේ මේ අවදියේය. සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස බලන ප්‍රදේශය ඒ වන විට හදුනාගෙන තිබුනි. උඩරට පාලනය කල විමලධර්මසූරිය රජු බලන ප්‍රදේශය ආවරණය වන සේ බලකො‍ටු 3ක් ඉදිකරන ලදී. අසවේදුගේ සේනාව, පිලිවෙලින් බුද්දස්ගොඩ, අලුත්නුවර හා ගනේතැන්න බලකො‍ටු අත්පත් කර ගනිමින් සාර්ථක ගමනක් එන්නටවිය. නමුත් ඒවනවිට පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කොට තිබුනි.
ඓතිහාසික බලන ගලේ වර්තමාන ජායාරූපයකි
1603 ජනවාරි 18 වැනිදායි. පෘතුගිසීන්ගේ ඊලඟ ඉලක්කය වූ බලන කො‍ටුවට පහරදීම ඇරඹුනි. නමුත් එය සිතූතරම් පහසු කාර්ය්‍යයක් නොවීය. බලන ප්‍රදේශයේ ස්වාභාවික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් සිංහල හමුදාව ගරිල්ලා සටන් ක්‍රම යොදාගනිමින් පෘතුගිසීන් එකාපිට එකා මරා දමන්නට විය. අවසානයේදී ජෙනරාල් අසවේදු සිය උපරිම යුධ ශක්තිය හා කාලතුවක්කු ශක්තිය යොදා බලන කො‍ටුවට පහරදෙන්නට විය. ඔවුන්ගේ යුධ ශක්තියට මුහුණදීමට අපහසු වූ සිංහල හමුදාව බලන කො‍ටුවට ගිනිතබා පසුබසින්නට විය.
1603 පෙබරවාරි දෙවනිදා වනවිට බලන කො‍ටුව පෘතුගීසි හමුදාවන් විසින් අත්පත්කරගන්නා ලදී. නමුත් ඔවුන්ට වැඩිකල් ජයපැන් බොන්නට නොහැකිවිය. නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ට මාරාන්තික ප්‍රහාර එල්ලකරමින් බලන හා ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තේය. පෘතුගීසීන්ගේ උඩරට ඇල්ලීමේ තවත් තැතක් එලෙස ව්‍යර්ථවිය.


4) රන්දෙනිවෙල සටන (1630)

I වන විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වන්නේ ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් රජතුමාය. මෙතුමාගේ කාලයේදීත් නිරන්තරයෙන් පෘතුගීසි ආක්‍රමණවලට මුහුණදීමට උඩරට රාජ්‍යයට සිදුවිය. 1617 දී ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ ඊට මඳ අස්වැසිල්ලක් ලැබුනි. 

දුනුවාගල කන්දේ ඊතල විදිනලද ස්ථානය
1630 අගෝස්තු මාසයයි. පෙර කී සාම ගිවිසුම මේ වනවිට බිඳවැටී තිබූ අතර ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, කොලඹ යන ප්‍රදේශවල පෘතුගීසි බලකො‍ටු ඉදිවී තිබුනි. නැවත් වරක් උඩරට ආක්‍රමණය කිරීමට ඔවුන් සේනා සංවිධානය කරන්නට විය. මෙවර ඔවුන්ගේ නායකත්වය ගත්තේ, කපිතාන් ජනරාල් "කොන්ස්‌තන්තීනු ද සා"ය. පෙර සටන් වලින් උගත් පාඩම් නිසා දෙපිරිසම නව උපායන් යොදන්නට විය. සිංහල කුලීහමුදාවන්ගේ ඥාතීන් වත්තල හා මෝදර ප්‍රදේශවල පදිංචිකරවන ලදී.  ඥාතීන්ට වන හානිය නිසා මෙම කුලී හමුදා උඩරට රජුට එක් නොවනු ඇතැයි පෘතුගීසීහු සිතූහ.
සෙනරත් රජුත් පෘතුගීසි හිතැති ප්‍රභූන් පිරිසක් ලංකරගෙන ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එකී කුමන්ත්‍රණයේ පරිදි පහතරට කැරලි කිහිපයක් ඇතිකරන ලදී. ඉන් කිපුණු පෘතුගීසීන් සිංහල හමුදාවන්ට පහර දෙමින් බදුල්ල දක්වා පැමිණ නගරය ගිනිබත් කරහ. කුමන්ත්‍රණයේ ඊලඟ අදියර ක්‍රියාත්මක වන්නේ මෙතැනදීය. ඉහත කී ප්‍රභූන් පිරිස උඩරට හමුදාවට එක්වූ අතර, පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. පෘතුගීසීන් සතු සිංහල කුලී සේනාවත් මේවන විට උඩරට හමුදාවට එක්වී උන්හ. පෘතුගීසීන්ට යටත් වන ලෙස දැනුම්දුන්නත් ඊට එකග නොවූ බැවින් රන්දෙනිවල ප්‍රදේශයේදී අවසන් සටන ඇතිවිය. මෙහිදී පෘතුගීසීන් 350ක් පමණ මැරුම් කෑ අතර, ඔවුන්ගේම භටයෙකුගේ වෙඩිල්ලක් වැරදීමකින් වැදීමෙන් "ද සා" මරමුවට පත් විය. ලද ජයග්‍රහණය නිසා උද්දාමයට පත් සෙනරත් රජු පහතරටත් ආක්‍රමණය කිරීමට තීරණය කලේය. නමුත් අවසානයේදී,  නාකොළගමදී ලද පරාජයත් සමඟ ඒ අදහස අතහැර දැමීමට සිදුවිය. 

5) ගන්නොරුව සටන (1638)

1638 මාර්තු අගභාගයයි. මෙවර උඩරට පාලනය කරන්නේ IIවන රාජසිංහ රජතුමාය. එතුමා පෙරකී I වන විමලධර්මසූරිය හා සෙනරත් යන දෙදෙනාටම බිරිය වූ කුසුමාසන දේවියගේ පුතෙකි. නැවතවරක් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් තීරණය කරන ලදී. මෙවර ඔවුන්ට නායකත්වය දුන්නේ කපිතාන් ජෙනරාල්  "දියෝගුද මේලෝද කැස්ත්‍රෝ" ය.

 IIවන රාජසිංහ රජතුමාගේ සොයුරු විජයපාල කුමරුගේ සහයෝගය පෘතුගීසීන්ට ලැබුණි. මීට අමතරව 5000ක සිංහල කුලී හමුදාවකින්ද, පෘතුගීසි සොල්දාදුවන් 700ක් කොංකන් භටයන් 200ක් අප‍්‍රිකානු භටයන් 300ක් හා තුප්පායි භට කණ්ඩායමකින්ද ඔවුන්ගේ සේනාව සන්නද්ධ විය.

රාජසිංහ රජුගේ සේනාවට අයත් වූයේ උඩරට හා පහතරට භටයන් සහ දකුණු ඉන්දීය කුලීභට හමුදාවකි. ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු පෘතුගීසි හමුදාව මහවැලියට නුදුරුන් ගන්නොරුව ප්‍රදේශයේ කඳවුරු බැඳගන්නා ලදී.  මේවනවිට  රාජසිංහ රජු හා විජයපාල කුමරු අතර තුබූ විරසක තුරන් වී රට බේරාගැනීමේ එකඟතාවයක් ඇතිවිය.
මහවැලිය අවට ‍රැකවල් තර කල සිංහල හමුදාවෝ මාර්තු මස විසි අටවැනි දින ගන්නොරුව පෘතුගීසි කඳවුරට පහරදීම ආරම්භකරන ලදී. දුනුවාගල (ප්‍රිම්රෝස්) නම් කන්ද යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයක් විය. එහි සිට ගිනි තැබූ කරුංකා ගෙඩි විදීමෙන් පෘතුගීසින් සතු වෙඩි බෙහෙත් ගබඩා ගිනිබත් කරන ලදී. ඒ අතර ඇදහැලුනු වර්ෂව නිසා ඔවුන්ගේ ඉතිරි වෙඩිබෙහෙත් ප්‍රමාණයත් විනාශවිය. මෙසේ යුධශක්තිය හීන වූ පෘතුගීසි හමුදාවේ 2500ක් පමණ මිය ගිය අතර, ඉතිරිවී සිටි සිංහල කුලී හමුදාවත් පැනගොස් සිටියහ.  ජෙනරාල් දියෝගුද  මේලෝද කැස්ත්‍රෝත් මෙම සටනේදී මියගියේය.
(තොරතුරු හතරවටේ අඩවියෙනි)


No comments:

Post a Comment